පියාගෙන් ලිපියක්

පුතා වෙත ලියමි ,

කන් දෙකේ ගහගෙන හෑන්ඩ් ෆ්රී ඔය වගේ
හිටියාට ඇස් පියන් පොප් හිපොප් ලෝකයේ
තාත්තාගේ පණ යන වෙල් කමත් ජීවිතේ
කෙදිරිල්ල අහපන් ඉද හිටවත් පුතේ

ඉදගෙන රජා සේ ප්ලාස්ටික් ආසනේ
දවසෙම  ගැහුවත් ගේම් කොම්පියුටරේ
කුස්සියේ ඉදගෙන අම්මා දුම්ගොඩේ
ගහන ගේමට පරාදයි උඹ ලොකු පුතේ

චග්ගුඩු , පංච කෙළි ,කොට්ට පොර තිබුනා
උඹලාගේ අප්පොච්චි ජීවිතේ වින්දා
මල්වැටුනු චීත්තෙන් උඹලගේ අම්මා
මගෙ පුංචි පැල් කොටේ මන්දිරේ කෙරුවා




රාත්‍රියෙ සැරිසරන වෙබ් අඩවි විජිතයේ
සළු පිළි ලෙහුනාට හෙළුවැලි ජීවිතේ
දිග ගව්ම ඇන්දාම ගම්බද කෙල්ලගේ
ලස්සන කොහෙද බං බිකිණි අඬනිරුවතේ




සෙල්ල්සම් කෙලිකවට තිබුනාද ජීවිතේ
ආදරේ වින්දාද යොවුන් විය හිනිපෙතේ
මුලා වූ අන්ධ වූ සෝබන ජිවිතේ
කරගත්තු කසාතේ ෆේස්බුක් ටුයිටරේ

විසබීජ ගොඩ ගැහුනු සයිබර් අවකාශයේ
කකුල්දෙක උඩ තියන් ඇවිද්දත් මගෙ පුතේ
කී බෝඩෙ අතගපු දෑතටවත් නුඹේ
දැනුනාද උනුහුම මිනිසෙකුගෙ හදවතේ

                                                   


 මුණුපුරා බලන්නට අපි පෙරුම් පිරුවා
අපි ගොඩේ යැයි කියා උඹෙ ගෑනි රැව්වා
මං පුතේ කියන්නෑ තරහකට මෙව්වා
 අපේකම මෙහෙමහරි මම  මම නුඹට කිව්වා

ලැප් -ටොප් අයි පෑඩ් ස්මාට් ලෝකයේ
ගමේ නම නැතුව ඇති නුඹේ ඔය සිතියමේ
මතකනම් එන පාර දොර ඇරල මයෙ පුතේ
රහයි බං කටු වුනත් සම්බෝල ජීවිතේ

Comments

Popular posts from this blog

ඉපැරණි සංන්නිවේදනය

ජන කවියේ මාධූර්‍ය

සොදුරු ගැමි කත